Friday, August 13, 2010

ඇය තවම ආවේ නෑ...
















මං බලන් උන්නා
ඇය එනතුරා
නොදන්න නුපුරුදු
මිනිසුන් මැදට වෙලා
සමහරු හිනාවුනා
සමහරු කතා කලා
ඒත් ඇය ආවේ නෑ..
මං ඇවිද්දා
මං ඉඳන් හිටියා
මං හිටන් හිටියා
ආයෙත් ඉඳගත්තා
අන්තිමේදි ඇය ආවා
ඒත් ඇය සිටියේ නෑ..
අප කතා කලා
එකට ආවා
වෙන් වෙලා ගියා
ඒත් ඇය ආවේම නෑ...
දවස් ගතවුනා
තනිව ලතවුනා
දහස් වර හමුව ඇති
දහස් වර කතා කර ඇති
මිනිසුන් මැදට වෙලා
මං බලන් උන්නා
ඇය තවම ආවේ නෑ...
ඡායා මාත්‍රයක්වත්
සුසුම් පොදක්වත්
තවම නෑ....


Tuesday, August 10, 2010

මැස්සෝ.....














පුංචි මැස්සෝ
පුංචිම පුංචි මැස්සෝ
උඹ කොහෙන්ද
මගේ ඇහැට රිංගුවේ..
මං එන මග
බලන් හිටියද උඹ..
මගේ මුලු ඇහැම රිදෙනවා...
කඳුළු ගලාගෙන එනවා...
පොඩි වෙලා
ඇහැ ඇතුලෙම
මැරිල ගිහින්ද?
පණ තියනවනං
උත්තර දීපන්...
ඇත්ත කියපන්...
එයා නේද උඹව එවුවේ?
මං එන මග බලන් ඉඳලා
මගේ ඇහැට රිංගන්ඩ කියලා
මැස්සෝ...
මම ඉන්නෙ දුකින්
උඹ ඒක දන්නවද?
එයා උඹට කිව්වද ඒක?
මම ඉන්නෙ හරිම දුකෙන්...
දුක ඝනීභවනය වෙලා
කැටිවෙලා...
මට අඬන්ඩ ඕනේ...
කඳුළු හලලා
ඉකි ගහලා
ඒත්
මට අඬන්ඩ බෑ
ඇඬෙන්නෙ නෑ
කඳුළු හිරවෙලා
ඇස්කුහර ඇතුලේ...
එයා ඒක දන්නවා
එයා උඹව එවන්ඩ ඇති
මගේ ඇහැට රිංගලා
හිරවුනු කඳුළු
අයින් කරන්ඩ කියලා
එහෙම නේද මැස්සෝ....
දැන් මේ ගලන් යන්නේ
ඒ හිර වෙච්ච කඳුළු....
උඹ ජීවිතේ දුන්නද
මං වෙනුවෙන්......
උඹ හරිම හොඳයි
උඹව එව්ව
එයා වගේම....
ඒත් උඹ හිතනවද
මගේ දුක අඩු උනා කියලා..
කඳුළු ගලලා
දෙගොඩ තලලා
යටවෙලා ගියත්
ඒක එහෙමමයි...
ගණ වෙලා
කැටි වෙලා
හදවතේ...
ගැඹුරේ...
එතැනට ලංවෙන්න උඹට පුලුවන්ද?
මැස්සෝ...
එතැනට ලංවුනත්,
පුලුවන්ද උඹට
ඒ දුක නැති කරන්න.
ලේ කැටි වලින්
පයින්ට් ගනනින්
එලියට දාන්න වෙයි.
පුංචිම පුංචි
උඹට පුලුවන්ද
එහෙම කරන්න
මට උඹ ගැන දුකයි
මැස්සෝ......


Friday, July 30, 2010

මගේ දේදුන්න....

















දේදුන්නෙන් එගොඩ වෙලා
සුරංගනා ලොවට යන්න
එයාලා කතා කරනවා
මට.
ඒත් මං
කොහෙ යන්නද?
ඇයයි දේදුන්න.
ඔයාලා යන්න
සුරංගනා ලෝකෙට
මං
මගේ දේදුන්න ගාව...


Friday, July 2, 2010

ඔරායන්...




















හලෝ මිත්‍රයා
ඔරායන්...
දඩයක්කාරයා...
කාලෙකට පස්සේ
ඉතින් කොහොමද
අද නිකමට
අහස දිහා බලන් ඉන්න
හිතුන මට
අහම්බෙන් දැක්කේ
උඹව
ඉතින් කොහොමද යාලුවා
මතකද ඒ කාලේ
අපි කතා කරා
මං උඹව අඳුනගත්ත අලුත
දැන් සෑහෙන කාලයක්
උඹට මතකද?
කෝ අනිත් අය?
ආ....මේ ඉන්නේ....
අං දෙකත් දික්කරගෙන
කෝ අඟේ කොන?
එදාට වඩා අඟලක්වත් දික්වෙලාද?
හද්දින්නත් තරු පොකුර....
මෙන්න !!!
තරු හතම ගනන් කරන්න
දැන් වත් පුලුවන්ද?
පුදුමයි....
උඹලා ඔක්කොම
හිටපු තැන්වල
හිටපු විදිහටම.....



Tuesday, June 29, 2010

අරුමය...















උදේ පාන්දර
එක යායට
රේල් පාර අයිනේ
පිපුනු
වතුසුද්ද මල්
මූනු හරවගෙන
බලා ඉන්නවා...
මුනු මුනු ගා
එකිනෙකාගෙන්
උන් අහනව
"මොන අරුමයක්ද මේ?
හූ තියාගෙන එන
කෝච්චිවල එල්ලිලා
කොහේ ඉඳන්
කොහේ යනවද
මේ මිනිස්සු?"



Saturday, June 5, 2010

වැතිරෙන්න මා ලඟින්.....



















වැතිරෙන්න මා ලඟින්
ගල් බොරලු ඇතිරූ
රළු පොළව මත,
සුමුදු විල්ලුද
යහන් නැත.
බලා ඉමු අපි
සඳ නැති තරු නැති
රළු අහස දෙස.
හිත හදන වදන් නැත
මා මුවඟ,
ගොලුව ඇත
මුව වැසුම් දැමු විලස.
අසා ඉමු අපි
රැහැයි ගීතය
අඳුරු වනපෙත
මතින් හැඬවෙන.
කඳුලු පිසලන්න
සුමුදු පට ලෙන්සු නැත
කඳුලු සඟවා
සිනාසෙමු අපි.
විවරවූ හදවත් දරා
බලා ඉමු අපි
එකිනෙකා දිහා
අඳුරටත් දිලිසෙන
තරුනෙත් අයා.....


Thursday, June 3, 2010

ඈ..........



















අහස පුරා
වළා අතුරා
හිරු ඒ මැද්දට කැන්දා
හිරු කිරණ
වළා කෙඳි වලින් පෙරා
නෑඹුල් වනපෙත
තුරු හිස් මත තවරා
දහසක් සොඳුරු රටා මවා
මා අසලට වී
සිනා සිසී
ඒ දෙස බලා සිටින්නී
ඈ...........