Friday, November 9, 2012

ශරත් අහස යට...




ශරත් අහසට වැද
එක එක හැඩයට පාවෙන
වලාකුළු වල
කොතැනකවත්
ඔබේ හැඩය
ඇඳිලා නෑ...

හේමන්ත නින්දට පෙර

එක එක පාටට සැරසෙන
ගස් කොළවල
කොතැනකවත්
ඔබේ පාට
තැවරී නෑ...

Saturday, January 7, 2012

කවුද ඈ?














ඈ 
තනිමග
නොරැඳෙයි
කසාදෙට පෙර
පඳුරු ගානේ
නොනිදයි
මදුවිතක් දෙසවත්
නොබලයි
මේ පිරිමි ලොව
පිරිමියට තැන දෙයි
පාසැලට සමුදෙයි
ගෙදර දොර
වැඩ 
ඉයුම් පිහුම්
මැහුම් ගෙතුම්
ටිකෙන් ටික 
හුරු වෙයි
කල වයස
පැමිණි කල
හැඩි දැඩි
හද මුදු
පිරිමියෙකු
අත පතයි
කවුද ඈ?
හෙළ බොදු
කුළ කතද?
නෑ..
සංකර
ලංඩන් පුරවර
ජිප්සි කෙල්ලක්...


Big Fat Gypsy Wedding නැමැති වාර්තා වැඩසටහන නැරඹීමෙන් පසුව ලියැවුණි.

Tuesday, November 8, 2011

අහිකුන්ඨික ගිම්හානය (Gypsy Summer)
















පැහැදිලි අහසේ
නිල,
ඉර වැටිල දිලිසෙන
ගස්වල
කොළ,
අමතක වෙච්ච
සායං ගිය
හීනයක් වෙලා තියෙද්දි,
හදිසියේ
ඇයගෙන්
ඊමේල් එකක්.
වචන පේලි දෙකක්..

ප.ලි. :
වළාකුලු මතුවී ගස්වල කොළ හැලී සීතලෙන් වෙලීයන හේමන්තයේ මැද හිටිහැටියේ පාත් වී හිටි හැටියේ නික්මයන ඉර හොඳින් පෑයූ උණුසුම් දවස් Gypsy summer කියන නමින් හඳුන්වනවා.

Friday, September 30, 2011

ආදරය කියන්නෙ ඉරිසියාව..













ආදරේ කියන්නෙ
තනිකරම ඉරිසියාව
`මට විතරක් නුඹ`
කියන
කැතම කැත
සිතුවිල්ල.
ඒක එහෙම නෙවේ කියල
කවුරුහරි කියනවනං
ඉන්න මං පෙන්නනං.
ඈ ඌත් එක්ක ඉන්න
වෙලාවක මට දෙන්න
තුවක්කුවක්.

Tuesday, August 9, 2011

කෝපි හලක සිට මළගිය ඇත්තෝ කියවමි.














වකමත්සුවේ *
කෝපි හලක සිට
මළගිය ඇත්තෝ
කියවමි.
සිහින්
සංගීත රාවය මැකී
තෝකියෝවේ
වීදි අතර
තනිවෙමි.
'යේ ලයි ෂ්‍යැං'
කෝපි හලේ
අඳුරු කොණක
නොරිකො සං
මා අබියස...
කෝපි 'උගුර උගුර'
හිස් කරමින්...
'යෝගීන් කියන
අන්‍ය වේද්‍යයන්ගෙන්
කිලිටි නුවූ
නිර්මල ආශ්වාදය'.
ටක් ටක් ටක්
සිහින් අඩි හඬ
හදිසියේ මම
හිස ඔසවා
බලමි.
තරු එළි දෙකක්..
නොරිකො !!!
ඈ මා දෙස බලා
හිස නමා
ලැසි ගමන් ගියා..

(* තෝකියෝවට කිලෝමීටර් තුන්සීයකට දුරින් ඇති කුඩා නගරයක්)

Wednesday, June 29, 2011

ශිම්මේ පාර ලඟ උයනේ, ලී බංකුව - Do you melt?


















සීතල විඳින්න,
තනියම පුළුවන්ද
මේ විදිහට.
එන්න ඔබ
ශිම්මේ පාර ලඟ
උයනට.
වතුරමල ලඟ
ලී බංකුව උඩ,
මං ඉන්නව
මග බල බල...
පින්න වැටුනට මොකද
දියවෙලා යන එකක් නෑ අපිව.
ඇත්තටම,
දියවෙලා ගියත් මොකද
මේ පුංචි ලී බංකුවට....



Tuesday, June 7, 2011

නිදි කුමරිය...




















මගේ සොඳුරිය...
ඔබ ඔය ලෙසින්ම
නිදන්න.
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න.
ඔබේ සිහිනෙන්
ඔබ මුදන්න
කවුරුවත්ම නෑ...

මූදු හතෙන් එහා
ඈ ගිය දා ඉඳලා
ඔබ ඇය යාකල
නාභි රැහැන් පොට,
දියවී යනවා
දියවී යනවා
නැතිවී යනහැටි
බලන් ඉන්නවා...
ඇයටවත් බෑ
ඔබට අත තියන්නට
ඉතින්
සැතපී හිඳින්න...

කලකට පෙර
ඔබ ඇය
ක්ලෝනයක් තරමටම
සමපාත වූ දා සිට
නුඹ මගේ නිදි කුමරිය..
ඇය නම් අලුත් වී
නැවුම් වී
නෙක සලු දරා
පැමිනෙද්දී
නුඹ නිදාඋන්නාය
ඔය ලෙසින්....

ඉතින් නිදන්න..
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න...
ඔය සිනාවෙන්ම
ගෙනයන්න මා
සුසානය වෙත...