Friday, November 5, 2010

දුවපන් ලෝලා දුවපන්...













දුවපන් ලෝලා දුවපන්...

ඔරලෝසුවේ කටු කැරකෙයි
බෝලය ගෝලාකාරයි
තරඟය විනාඩි අනූවයි
ඒක එහෙමයි
ඒක එහෙමද ලෝලා???

බලපන් මිනිස්සුන්ගෙ වැඩ
ශිෂ්ටාචාරයේ විස්කම්
අහස උඩින් යන කෝච්චි
හැටට හැටේ වාහන
හතරවටේ බිල්ඩින්
ඒ උනත් උඹ දැක්කද
අහස පොළව ඉරි තළලා
ගොඩනැගිලිවල පාසි බැඳිලා...
ඒව බලන්න මොකට නතරවෙනවද
බලා බලා මොකට ලතැවෙනවද
උඹ දුවපන් ලෝලා...

කාලය දියවෙලා යනව
උඹේ මූනේ දාඩිය බින්දු වගේ
මතුවෙලා හුළගට වි‍යැකිලා යනව
එතැනින්ම ආයෙත්
තව බින්දු මතුවෙනව
"වෙන්ඩ තියන දේ වෙනවමයි"
කවුදෝ හෙමීට මුමුණනවා
ඒ වචන අස්සෙන්
ඉරණම දැලක් එලාගෙන
බලන් ඉන්නවා
කඩාගෙන දුවපන් ලෝලා...

දෙවියන්ගේ කැමැත්ත
කර්ම පල විපාක
මොකට හිතනවද ඔව්වා
රතු කෙස්ස සොලවා
උඹ දුවපන් ලෝලා...


Tom Tykwer නම් ජර්මන් සිනමාකරුවාගේ Run Lola Run සිනමාපටය 1998 දී නිර්මාණය වුනා. මේකේ කතානායිකාව තමයි ලෝලා. එය රඟපාන්නේ Frank potente කියන නිළිය. ලෝලාගේ පෙම්වතා කුඩාපරිමාණයේ අපරාධකරුවෙක්. එයා ගාව තිබ්බ ඩොයිෂ් මාර්ක් 100000 මුදලක් අමතක වෙලා කෝච්චියේ දාලා එනවා. ඒක අයිති එයාගේ බොස්ට. ඉතින් තව විනාඩි විස්සකින් බොස් එද්දි ඒ සල්ලි ටික හොයගත්තෙ නැත්තම් ඉතින් බඩුම තමයි.
චිත්‍රපටිය පටන්ගන්නෙ පෙම්වතාගෙන් ලෝලාට හම්බවෙන ටෙලිෆෝන් කෝල් එකකින්. මෙයා ලෝලාට ප්‍රශ්නෙ කියනවා. ලෝලා විනාඩි 20න් ඒ සල්ලි හොයන්ඩ දුවන දිවිල්ල තමයි මේකේ තියෙන්නෙ. ඒ වගේ විනාඩි 20 කෑලි 3ක් තියනවා. ඒ හැම අවස්තාවකම ලෝලාගේ එකම දිවිල්ල තමයි තියෙන්නෙ. ඒත් පොඩි පොඩි වෙනස්කම් තියනවා.
පුටුවෙ ගැට්ටට වෙලා බලන්න පුලුවන්, ලෝලා දුවන එක ඇතුලෙන් ගොඩක් දේවල් කියන, මම ජීවිතේට බලලා නැති විදිහේ මාරම චිත්‍රපටියක් තමයි මේක. දැනට අවුරුදු 4කට විතර කලින් මුලින්ම බලලා වටේ යවන වෙලාවේ අයෝමි තමයි මේ නම යෝජනා කලේ "දුවන්න ලෝලා දුවන්න..." කියලා. සටහන ලියද්දි පොඩ්ඩක් වෙනස්වෙලා ඔලුවට ආවේ එයා කිව්ව නමම තමයි....



Saturday, October 23, 2010

මට වෙඩි තියන්න















මට වෙඩි තියන්න,
තුවක්කුව
නළලටම
නැත්නම් පපුවටම
ලංකර
කොකා ගස්සන්න
තිගැස්මක් දැනේනම්
ඇස් පියාගන්න
දෙවරක් නොසිතන්න
කොකා ගස්සන්න
දෝංකාර හඬට
නොරැවටෙන්න
ඔලු කට්ට පුපුරා
මොළය එළියට ඒවී
නැත්නම්
රතු ලේ විලක් විදගෙන
පපුවේ ලේ නහර
දඟ කරාවි
නොතැවෙන්න
නොසැලෙන්න
කිසි හඬක් නොනගා
ඉන්නට තැත් කරන්නම්
ඇස් කොනකිනිදු
නොබලන්න
හැරී ආපසු යන්න
කෙඳිරි නොනගා
ඉන්නට තැත්කරන්නම්
ඒත්
කෙඳිරිල්ලක් නැගුනොත්
ආපසු හැරී
තව එකම එක
වෙඩිල්ලක්
තබා යන්න....


Thursday, September 30, 2010

ඔහුගේ අතගෙන ඔබ ඉද්දී...














ඔහුගේ අතගෙන
උරහිසට බරවෙලා
ඔබ
හිනාවෙවී හිටියා...
ඈත බලාගෙන
මූන හංගගෙන
මං
හිනාවෙවී හිටියා...


Friday, September 24, 2010




















නෙක් දනන් නෙත් අබියස
අපරාධකරුවෙක්ව
මා සිටින සඳ,
පෝරකය මත
අලුගෝසුවාගේ
ලේ නහරයක් නොම වන්න;
ඔහු අත රැඳි
තොණ්ඩුවේ
වරපටය නුඹ වන්න...

පින්වතුන් අබියස
පවුකාරයකු වී
මා සිටින සඳ,
ගල් පහර මුදාලන
පින්වතුන්ගේ
හෘද සාක්ෂිය
නොමවන්න;
උන් අත රැඳි
හිත් පිත් නැති
ගල්කැටය නුඹවන්න...



Saturday, September 18, 2010

ලෝකය පැතලිම පැතලි රොටියක් වුනානම්....














ලෝකය
ගෝලයක් නොවී
පැතලිම පැතලි
රොටියක් වුනානම්....
මට දෙවියන්ගෙන්
ඉල්ලන්න තිබුනා
ඔක්කොම කඳු
ගස්
ගොඩනැගිලි
මිනිස්සු
හැමදේම
අයින් කරන්න කියලා..
මොහොතකට
ඇයත් මාත් හැර.
එහෙම උනානම්
ලෝකේ
මෙහා කොනේ ඉඳන්
එහා කොනේ ඉන්න
ඇයව
බලාගන්න තිබුනා
තිතක් වගේ...


Friday, September 3, 2010

මා පෙම් කල සියලුම කෙල්ලන්...













මා පෙම් කල
සියලුම කෙල්ලන්
හදවතේ
කෑල්ල කෑල්ල
කඩාගෙන ගිහින්
අන්තිම එක විතරක්
තිබුනා ඉතිරිවෙලා....
ඒකත් කඩාගෙන
ඇයත් ගියාට පස්සේ
මං....
හදවතක් නැතුව
බලන් ඉන්නවා
මොනව කරන්නද කියලා....


Tuesday, August 31, 2010

සමුගැනීමට මොහොතකට පෙර....















පුරහඳ
දුර ඈත තරුවක් සමඟ
මොනවාද කොඳුරයි...
දිගු රතැඟිලි
ගිතාරුවෙ තත් පුරා
හෙමි හෙමින් වැතිරෙයි...
හදවතින් මිදුනු ගී හඬ
සීත සුළඟට මුසුවෙලා
මල් පඳුරු කළඹයි.....
තණ බිස්ස මත
පිණි කැටවල සීතලට
දෙපතුලද,
හදවතද,
එක ලෙසින් සසැලෙයි.....