Friday, October 9, 2015

ඔය මල් හිනාව



දෙන්න බැරිද 
ඔය මල් හිනාව
සාක්කුවේ දාගෙන
ගෙදර අරන් යන්න

උණුවතුර නාලා

තේ එකක් හෙම බීලා
හෙමීට සාක්කුවෙන් අරන්
අත උඩ තියාගෙන
හුරතල් කරන්න

ජනෙල් පියන් අතරින්

හඳ එළිය වැටෙද්දි
උම්මා එකක් දීලා
කොට්ටෙ පැත්තකින් තියාගෙන
නිදාගන්න

Monday, September 1, 2014

හුස්මක්...


ඇස් පියාගෙන
තදින් හුස්මක්
ගනිමි.
අනන්තය
හමු නොවූ
විශ්වයෙන්
පොදක්
සුසුම්නලයට
ඇදගමි.
බිලියන දහතුනක
ඉතිහාසයක්
පෙනහළුවලට
පුරවමි.
ඒ හුස්මට
තවත් සුසුමක්
මුසුකොට,
පා කර හරිමි.

Wednesday, March 13, 2013

මොකද මෙච්චර ලංවෙලා?















ඈ මගේ
ඇඟේ
වදින නොවදින
දුරින්..
මගේ උණුසුම්
සුසුම්
දැනෙනවා ඇති
ඇගේ
ගෙල මතින්..
"මොකද මෙච්චර ලංවෙලා?"
උත්තර නැති ප්‍රශ්න
වචන නැති උත්තර
"හ්ම්ම්...."
තප්පර දහයක් ගතවුනා
තප්පර විස්සක් ගතවුනා
තප්පර තිහක්...
මොහොතකින් ඇය හැරී
මගේ පැත්තට නැවී
විසල් තරු නෙත් වලින්
පුදුම වී බලා උන්නා...
ඒ තමයි
මං ඈව
සිපගත්ත
මොහොත!
ඊට පස්සේ
ඝණ සැරේට
දිගටම වැස්ස...

Tuesday, February 26, 2013

ෆුකුශිමා





















සඳ රැස් ගලන රැයක
සුදු කඳු මත පතිත
හිම කැට වල පහස
ගෙනදුන්නේ නුඹයි

සකේ විතක රැඳුන
අමා මිහිරි රසය
සමඟ හදට වදින
මුදු උණුසුම නුඹයි

ගේෂාවක වයන
ෂමිසෙන් තත් අතර
දැනී නොදැනී නැගෙන
මධුර ස්වරය නුඹයි

වසන්තයට පිපෙන
සකුරා පෙති සිඹින
සුළඟ සමග එතෙන
සුමුදු සුවඳ නුඹයි

Sunday, February 10, 2013

බුබුලු නගින මී බඳුනේ




















බුබුලු නගින මී බඳුනේ
රස වෑහෙන මද පවනේ
සුදු රැස් දෙන සඳ පහනේ
හිම කැට සීතල නොදැනේ

නිල් තරු කැට දෙකක් වසා
වලා රොදක් පාව ගියා
රන් තැටියෙන් කැලුම් උරා
චෙරි මල් පෙති මෝදු වෙලා

සවන පිසින සුසුම් හඬින්
කෝල කරන හසුන් තුඩින්
නීල වනය සලා සෙමින්
කුලක් නැගුනි මලක් මතින්

සමන්පිච්ච මල් මී පැණි
වාතලයම සුවඳ දැනුනි
රන් දේදුනු සතක් නැගුනි
සඳවත ඒ මත පාවුනි

රසවැල් වල මූල් සොයලා
මිහිතල් විල කළඹවලා
කෙඳිරිල්ලට කන් තියලා
සමනැල්ලෙක් ඉගිල ගියා

පිණි පොකුරකි නලරැල්ලේ
හසුන් නිදති සැනසිල්ලේ
සුදු විල්ලුද තණනිල්ලේ
පවලම් අහුරක් දැල්ලේ

Friday, November 9, 2012

ශරත් අහස යට...




ශරත් අහසට වැද
එක එක හැඩයට පාවෙන
වලාකුළු වල
කොතැනකවත්
ඔබේ හැඩය
ඇඳිලා නෑ...

හේමන්ත නින්දට පෙර

එක එක පාටට සැරසෙන
ගස් කොළවල
කොතැනකවත්
ඔබේ පාට
තැවරී නෑ...

Saturday, January 7, 2012

කවුද ඈ?














ඈ 
තනිමග
නොරැඳෙයි
කසාදෙට පෙර
පඳුරු ගානේ
නොනිදයි
මදුවිතක් දෙසවත්
නොබලයි
මේ පිරිමි ලොව
පිරිමියට තැන දෙයි
පාසැලට සමුදෙයි
ගෙදර දොර
වැඩ 
ඉයුම් පිහුම්
මැහුම් ගෙතුම්
ටිකෙන් ටික 
හුරු වෙයි
කල වයස
පැමිණි කල
හැඩි දැඩි
හද මුදු
පිරිමියෙකු
අත පතයි
කවුද ඈ?
හෙළ බොදු
කුළ කතද?
නෑ..
සංකර
ලංඩන් පුරවර
ජිප්සි කෙල්ලක්...


Big Fat Gypsy Wedding නැමැති වාර්තා වැඩසටහන නැරඹීමෙන් පසුව ලියැවුණි.

Tuesday, November 8, 2011

අහිකුන්ඨික ගිම්හානය (Gypsy Summer)
















පැහැදිලි අහසේ
නිල,
ඉර වැටිල දිලිසෙන
ගස්වල
කොළ,
අමතක වෙච්ච
සායං ගිය
හීනයක් වෙලා තියෙද්දි,
හදිසියේ
ඇයගෙන්
ඊමේල් එකක්.
වචන පේලි දෙකක්..

ප.ලි. :
වළාකුලු මතුවී ගස්වල කොළ හැලී සීතලෙන් වෙලීයන හේමන්තයේ මැද හිටිහැටියේ පාත් වී හිටි හැටියේ නික්මයන ඉර හොඳින් පෑයූ උණුසුම් දවස් Gypsy summer කියන නමින් හඳුන්වනවා.

Friday, September 30, 2011

ආදරය කියන්නෙ ඉරිසියාව..













ආදරේ කියන්නෙ
තනිකරම ඉරිසියාව
`මට විතරක් නුඹ`
කියන
කැතම කැත
සිතුවිල්ල.
ඒක එහෙම නෙවේ කියල
කවුරුහරි කියනවනං
ඉන්න මං පෙන්නනං.
ඈ ඌත් එක්ක ඉන්න
වෙලාවක මට දෙන්න
තුවක්කුවක්.

Tuesday, August 9, 2011

කෝපි හලක සිට මළගිය ඇත්තෝ කියවමි.














වකමත්සුවේ *
කෝපි හලක සිට
මළගිය ඇත්තෝ
කියවමි.
සිහින්
සංගීත රාවය මැකී
තෝකියෝවේ
වීදි අතර
තනිවෙමි.
'යේ ලයි ෂ්‍යැං'
කෝපි හලේ
අඳුරු කොණක
නොරිකො සං
මා අබියස...
කෝපි 'උගුර උගුර'
හිස් කරමින්...
'යෝගීන් කියන
අන්‍ය වේද්‍යයන්ගෙන්
කිලිටි නුවූ
නිර්මල ආශ්වාදය'.
ටක් ටක් ටක්
සිහින් අඩි හඬ
හදිසියේ මම
හිස ඔසවා
බලමි.
තරු එළි දෙකක්..
නොරිකො !!!
ඈ මා දෙස බලා
හිස නමා
ලැසි ගමන් ගියා..

(* තෝකියෝවට කිලෝමීටර් තුන්සීයකට දුරින් ඇති කුඩා නගරයක්)

Wednesday, June 29, 2011

ශිම්මේ පාර ලඟ උයනේ, ලී බංකුව - Do you melt?


















සීතල විඳින්න,
තනියම පුළුවන්ද
මේ විදිහට.
එන්න ඔබ
ශිම්මේ පාර ලඟ
උයනට.
වතුරමල ලඟ
ලී බංකුව උඩ,
මං ඉන්නව
මග බල බල...
පින්න වැටුනට මොකද
දියවෙලා යන එකක් නෑ අපිව.
ඇත්තටම,
දියවෙලා ගියත් මොකද
මේ පුංචි ලී බංකුවට....



Tuesday, June 7, 2011

නිදි කුමරිය...




















මගේ සොඳුරිය...
ඔබ ඔය ලෙසින්ම
නිදන්න.
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න.
ඔබේ සිහිනෙන්
ඔබ මුදන්න
කවුරුවත්ම නෑ...

මූදු හතෙන් එහා
ඈ ගිය දා ඉඳලා
ඔබ ඇය යාකල
නාභි රැහැන් පොට,
දියවී යනවා
දියවී යනවා
නැතිවී යනහැටි
බලන් ඉන්නවා...
ඇයටවත් බෑ
ඔබට අත තියන්නට
ඉතින්
සැතපී හිඳින්න...

කලකට පෙර
ඔබ ඇය
ක්ලෝනයක් තරමටම
සමපාත වූ දා සිට
නුඹ මගේ නිදි කුමරිය..
ඇය නම් අලුත් වී
නැවුම් වී
නෙක සලු දරා
පැමිනෙද්දී
නුඹ නිදාඋන්නාය
ඔය ලෙසින්....

ඉතින් නිදන්න..
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න...
ඔය සිනාවෙන්ම
ගෙනයන්න මා
සුසානය වෙත...


Monday, May 30, 2011

ඈ කියාදුන් පාඩම...















අඳුර කපා හිරු
නැගෙන විට අහසේ
නිදිබර නෙත්වලින්
පා මදහාසේ
ඇය මට කියාදුන්නා
පාඩමක් රහසේ
ආදරය....
තණපතක් අග රැඳුනු
පිණිබිඳක් වාගේ...


Sunday, May 15, 2011

ගිය වාරේ.. මල් වාරේ...

















චෙරි කැකුළු වියන යට
පෙති සැලී
පාවඩය එළලා.
හුලං පොදක් නැති
වළාකුලක් නැති
තරුත් නැති
අහස යට
ගුලිවෙලා...

ගිය වාරේ
මල් වාරේ
කවුරුත් නැති
මල්යායේ
මැද
බංකුවට වෙලා..
බුබුලු සැලෙන
මල්මී ගෙන
අප සිටියා
ඈත
මන්දාකිණියේ
කිමිදිලා...

-------------------------------------------------------
වසරකට පෙර එය මෙසේ ලියැවුණි...


Sunday, April 24, 2011

රකුසන්ගේ මල්...














සමහර මල් කිනිති යට
දෙවිවරුන් රැක සිටී
අනෙක් මල් කිනිති යට
රකුසන්...
නෙලනවානම් නෙලන්න
දෙවැනියට කියපු මල්...

Monday, April 18, 2011

එකම එක මොහොතක් වෙනුවෙන්...



















අවුරුද්දක්
රැක සිටියෙමි
සකුරා මල්
දැක දැකගත්තෙමි
දැන්නම් ඉතින්
මැරුනත් සැපයි...

Friday, January 28, 2011

එයාගෙ බැල්මටත් මගේ හිත ඇදෙනවා...




















එයා හරි ලස්සනයි
එයාගෙ බැල්මටත්
මගේ හිත ඇදෙනවා
එය නවත්වන්නට මට බෑ...
ඒ මුදු ලැමද සිහිනිඟද
මගේ නෙත දකිනවා
සිහිනයක ඇඳි කැටයමක් වගේ..
මගේ සිත ඇගේ ගත සොයනවා
මගේ නෙත ඒ පුරා ඇදෙනවා
යළි යළිත් මා ඈ දෙසම බලනවා...
බලනවා විතරයි
වෙන දෙයක් කරන්නට මට බෑ...
ඒත් එයා
මා දිහා බලාගෙන රවනවා
මගේ හිත හැමදාම තැවෙනවා
එයාට මං ආදරේ නෑ...
මට ඕනේ බලන්නට විතරයි

Friday, November 5, 2010

දුවපන් ලෝලා දුවපන්...













දුවපන් ලෝලා දුවපන්...

ඔරලෝසුවේ කටු කැරකෙයි
බෝලය ගෝලාකාරයි
තරඟය විනාඩි අනූවයි
ඒක එහෙමයි
ඒක එහෙමද ලෝලා???

බලපන් මිනිස්සුන්ගෙ වැඩ
ශිෂ්ටාචාරයේ විස්කම්
අහස උඩින් යන කෝච්චි
හැටට හැටේ වාහන
හතරවටේ බිල්ඩින්
ඒ උනත් උඹ දැක්කද
අහස පොළව ඉරි තළලා
ගොඩනැගිලිවල පාසි බැඳිලා...
ඒව බලන්න මොකට නතරවෙනවද
බලා බලා මොකට ලතැවෙනවද
උඹ දුවපන් ලෝලා...

කාලය දියවෙලා යනව
උඹේ මූනේ දාඩිය බින්දු වගේ
මතුවෙලා හුළගට වි‍යැකිලා යනව
එතැනින්ම ආයෙත්
තව බින්දු මතුවෙනව
"වෙන්ඩ තියන දේ වෙනවමයි"
කවුදෝ හෙමීට මුමුණනවා
ඒ වචන අස්සෙන්
ඉරණම දැලක් එලාගෙන
බලන් ඉන්නවා
කඩාගෙන දුවපන් ලෝලා...

දෙවියන්ගේ කැමැත්ත
කර්ම පල විපාක
මොකට හිතනවද ඔව්වා
රතු කෙස්ස සොලවා
උඹ දුවපන් ලෝලා...


Tom Tykwer නම් ජර්මන් සිනමාකරුවාගේ Run Lola Run සිනමාපටය 1998 දී නිර්මාණය වුනා. මේකේ කතානායිකාව තමයි ලෝලා. එය රඟපාන්නේ Frank potente කියන නිළිය. ලෝලාගේ පෙම්වතා කුඩාපරිමාණයේ අපරාධකරුවෙක්. එයා ගාව තිබ්බ ඩොයිෂ් මාර්ක් 100000 මුදලක් අමතක වෙලා කෝච්චියේ දාලා එනවා. ඒක අයිති එයාගේ බොස්ට. ඉතින් තව විනාඩි විස්සකින් බොස් එද්දි ඒ සල්ලි ටික හොයගත්තෙ නැත්තම් ඉතින් බඩුම තමයි.
චිත්‍රපටිය පටන්ගන්නෙ පෙම්වතාගෙන් ලෝලාට හම්බවෙන ටෙලිෆෝන් කෝල් එකකින්. මෙයා ලෝලාට ප්‍රශ්නෙ කියනවා. ලෝලා විනාඩි 20න් ඒ සල්ලි හොයන්ඩ දුවන දිවිල්ල තමයි මේකේ තියෙන්නෙ. ඒ වගේ විනාඩි 20 කෑලි 3ක් තියනවා. ඒ හැම අවස්තාවකම ලෝලාගේ එකම දිවිල්ල තමයි තියෙන්නෙ. ඒත් පොඩි පොඩි වෙනස්කම් තියනවා.
පුටුවෙ ගැට්ටට වෙලා බලන්න පුලුවන්, ලෝලා දුවන එක ඇතුලෙන් ගොඩක් දේවල් කියන, මම ජීවිතේට බලලා නැති විදිහේ මාරම චිත්‍රපටියක් තමයි මේක. දැනට අවුරුදු 4කට විතර කලින් මුලින්ම බලලා වටේ යවන වෙලාවේ අයෝමි තමයි මේ නම යෝජනා කලේ "දුවන්න ලෝලා දුවන්න..." කියලා. සටහන ලියද්දි පොඩ්ඩක් වෙනස්වෙලා ඔලුවට ආවේ එයා කිව්ව නමම තමයි....



Saturday, October 23, 2010

මට වෙඩි තියන්න















මට වෙඩි තියන්න,
තුවක්කුව
නළලටම
නැත්නම් පපුවටම
ලංකර
කොකා ගස්සන්න
තිගැස්මක් දැනේනම්
ඇස් පියාගන්න
දෙවරක් නොසිතන්න
කොකා ගස්සන්න
දෝංකාර හඬට
නොරැවටෙන්න
ඔලු කට්ට පුපුරා
මොළය එළියට ඒවී
නැත්නම්
රතු ලේ විලක් විදගෙන
පපුවේ ලේ නහර
දඟ කරාවි
නොතැවෙන්න
නොසැලෙන්න
කිසි හඬක් නොනගා
ඉන්නට තැත් කරන්නම්
ඇස් කොනකිනිදු
නොබලන්න
හැරී ආපසු යන්න
කෙඳිරි නොනගා
ඉන්නට තැත්කරන්නම්
ඒත්
කෙඳිරිල්ලක් නැගුනොත්
ආපසු හැරී
තව එකම එක
වෙඩිල්ලක්
තබා යන්න....


Thursday, September 30, 2010

ඔහුගේ අතගෙන ඔබ ඉද්දී...














ඔහුගේ අතගෙන
උරහිසට බරවෙලා
ඔබ
හිනාවෙවී හිටියා...
ඈත බලාගෙන
මූන හංගගෙන
මං
හිනාවෙවී හිටියා...