Tuesday, August 31, 2010

සමුගැනීමට මොහොතකට පෙර....















පුරහඳ
දුර ඈත තරුවක් සමඟ
මොනවාද කොඳුරයි...
දිගු රතැඟිලි
ගිතාරුවෙ තත් පුරා
හෙමි හෙමින් වැතිරෙයි...
හදවතින් මිදුනු ගී හඬ
සීත සුළඟට මුසුවෙලා
මල් පඳුරු කළඹයි.....
තණ බිස්ස මත
පිණි කැටවල සීතලට
දෙපතුලද,
හදවතද,
එක ලෙසින් සසැලෙයි.....


Wednesday, August 18, 2010

තව එක පාරක් එනවද...














සඳපානේ ගං ඉවුරේ
නුඹ සිටිනා තැන කියන්න
බයිසිකලේ බ්‍රේක් නැතිව
මම එනවා එක හැල්මෙම
රන් පාටට දිදුලන දිය
මතුපිට පුන් සඳ දකින්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න

ගං ඉවුරේ පඩි ගැට්ටේ
වතුරට සේදෙන ඉසව්වෙ
දෙපා දොවන පෙන කැටිවල
මුදු කිතියක සුව විඳින්න
සිසිල් සුලං රැලි විඳ විඳ
වයින් විතක රස බලන්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න


Friday, August 13, 2010

ඇය තවම ආවේ නෑ...
















මං බලන් උන්නා
ඇය එනතුරා
නොදන්න නුපුරුදු
මිනිසුන් මැදට වෙලා
සමහරු හිනාවුනා
සමහරු කතා කලා
ඒත් ඇය ආවේ නෑ..
මං ඇවිද්දා
මං ඉඳන් හිටියා
මං හිටන් හිටියා
ආයෙත් ඉඳගත්තා
අන්තිමේදි ඇය ආවා
ඒත් ඇය සිටියේ නෑ..
අප කතා කලා
එකට ආවා
වෙන් වෙලා ගියා
ඒත් ඇය ආවේම නෑ...
දවස් ගතවුනා
තනිව ලතවුනා
දහස් වර හමුව ඇති
දහස් වර කතා කර ඇති
මිනිසුන් මැදට වෙලා
මං බලන් උන්නා
ඇය තවම ආවේ නෑ...
ඡායා මාත්‍රයක්වත්
සුසුම් පොදක්වත්
තවම නෑ....


Tuesday, August 10, 2010

මැස්සෝ.....














පුංචි මැස්සෝ
පුංචිම පුංචි මැස්සෝ
උඹ කොහෙන්ද
මගේ ඇහැට රිංගුවේ..
මං එන මග
බලන් හිටියද උඹ..
මගේ මුලු ඇහැම රිදෙනවා...
කඳුළු ගලාගෙන එනවා...
පොඩි වෙලා
ඇහැ ඇතුලෙම
මැරිල ගිහින්ද?
පණ තියනවනං
උත්තර දීපන්...
ඇත්ත කියපන්...
එයා නේද උඹව එවුවේ?
මං එන මග බලන් ඉඳලා
මගේ ඇහැට රිංගන්ඩ කියලා
මැස්සෝ...
මම ඉන්නෙ දුකින්
උඹ ඒක දන්නවද?
එයා උඹට කිව්වද ඒක?
මම ඉන්නෙ හරිම දුකෙන්...
දුක ඝනීභවනය වෙලා
කැටිවෙලා...
මට අඬන්ඩ ඕනේ...
කඳුළු හලලා
ඉකි ගහලා
ඒත්
මට අඬන්ඩ බෑ
ඇඬෙන්නෙ නෑ
කඳුළු හිරවෙලා
ඇස්කුහර ඇතුලේ...
එයා ඒක දන්නවා
එයා උඹව එවන්ඩ ඇති
මගේ ඇහැට රිංගලා
හිරවුනු කඳුළු
අයින් කරන්ඩ කියලා
එහෙම නේද මැස්සෝ....
දැන් මේ ගලන් යන්නේ
ඒ හිර වෙච්ච කඳුළු....
උඹ ජීවිතේ දුන්නද
මං වෙනුවෙන්......
උඹ හරිම හොඳයි
උඹව එව්ව
එයා වගේම....
ඒත් උඹ හිතනවද
මගේ දුක අඩු උනා කියලා..
කඳුළු ගලලා
දෙගොඩ තලලා
යටවෙලා ගියත්
ඒක එහෙමමයි...
ගණ වෙලා
කැටි වෙලා
හදවතේ...
ගැඹුරේ...
එතැනට ලංවෙන්න උඹට පුලුවන්ද?
මැස්සෝ...
එතැනට ලංවුනත්,
පුලුවන්ද උඹට
ඒ දුක නැති කරන්න.
ලේ කැටි වලින්
පයින්ට් ගනනින්
එලියට දාන්න වෙයි.
පුංචිම පුංචි
උඹට පුලුවන්ද
එහෙම කරන්න
මට උඹ ගැන දුකයි
මැස්සෝ......