Friday, November 5, 2010

දුවපන් ලෝලා දුවපන්...













දුවපන් ලෝලා දුවපන්...

ඔරලෝසුවේ කටු කැරකෙයි
බෝලය ගෝලාකාරයි
තරඟය විනාඩි අනූවයි
ඒක එහෙමයි
ඒක එහෙමද ලෝලා???

බලපන් මිනිස්සුන්ගෙ වැඩ
ශිෂ්ටාචාරයේ විස්කම්
අහස උඩින් යන කෝච්චි
හැටට හැටේ වාහන
හතරවටේ බිල්ඩින්
ඒ උනත් උඹ දැක්කද
අහස පොළව ඉරි තළලා
ගොඩනැගිලිවල පාසි බැඳිලා...
ඒව බලන්න මොකට නතරවෙනවද
බලා බලා මොකට ලතැවෙනවද
උඹ දුවපන් ලෝලා...

කාලය දියවෙලා යනව
උඹේ මූනේ දාඩිය බින්දු වගේ
මතුවෙලා හුළගට වි‍යැකිලා යනව
එතැනින්ම ආයෙත්
තව බින්දු මතුවෙනව
"වෙන්ඩ තියන දේ වෙනවමයි"
කවුදෝ හෙමීට මුමුණනවා
ඒ වචන අස්සෙන්
ඉරණම දැලක් එලාගෙන
බලන් ඉන්නවා
කඩාගෙන දුවපන් ලෝලා...

දෙවියන්ගේ කැමැත්ත
කර්ම පල විපාක
මොකට හිතනවද ඔව්වා
රතු කෙස්ස සොලවා
උඹ දුවපන් ලෝලා...


Tom Tykwer නම් ජර්මන් සිනමාකරුවාගේ Run Lola Run සිනමාපටය 1998 දී නිර්මාණය වුනා. මේකේ කතානායිකාව තමයි ලෝලා. එය රඟපාන්නේ Frank potente කියන නිළිය. ලෝලාගේ පෙම්වතා කුඩාපරිමාණයේ අපරාධකරුවෙක්. එයා ගාව තිබ්බ ඩොයිෂ් මාර්ක් 100000 මුදලක් අමතක වෙලා කෝච්චියේ දාලා එනවා. ඒක අයිති එයාගේ බොස්ට. ඉතින් තව විනාඩි විස්සකින් බොස් එද්දි ඒ සල්ලි ටික හොයගත්තෙ නැත්තම් ඉතින් බඩුම තමයි.
චිත්‍රපටිය පටන්ගන්නෙ පෙම්වතාගෙන් ලෝලාට හම්බවෙන ටෙලිෆෝන් කෝල් එකකින්. මෙයා ලෝලාට ප්‍රශ්නෙ කියනවා. ලෝලා විනාඩි 20න් ඒ සල්ලි හොයන්ඩ දුවන දිවිල්ල තමයි මේකේ තියෙන්නෙ. ඒ වගේ විනාඩි 20 කෑලි 3ක් තියනවා. ඒ හැම අවස්තාවකම ලෝලාගේ එකම දිවිල්ල තමයි තියෙන්නෙ. ඒත් පොඩි පොඩි වෙනස්කම් තියනවා.
පුටුවෙ ගැට්ටට වෙලා බලන්න පුලුවන්, ලෝලා දුවන එක ඇතුලෙන් ගොඩක් දේවල් කියන, මම ජීවිතේට බලලා නැති විදිහේ මාරම චිත්‍රපටියක් තමයි මේක. දැනට අවුරුදු 4කට විතර කලින් මුලින්ම බලලා වටේ යවන වෙලාවේ අයෝමි තමයි මේ නම යෝජනා කලේ "දුවන්න ලෝලා දුවන්න..." කියලා. සටහන ලියද්දි පොඩ්ඩක් වෙනස්වෙලා ඔලුවට ආවේ එයා කිව්ව නමම තමයි....



Saturday, October 23, 2010

මට වෙඩි තියන්න















මට වෙඩි තියන්න,
තුවක්කුව
නළලටම
නැත්නම් පපුවටම
ලංකර
කොකා ගස්සන්න
තිගැස්මක් දැනේනම්
ඇස් පියාගන්න
දෙවරක් නොසිතන්න
කොකා ගස්සන්න
දෝංකාර හඬට
නොරැවටෙන්න
ඔලු කට්ට පුපුරා
මොළය එළියට ඒවී
නැත්නම්
රතු ලේ විලක් විදගෙන
පපුවේ ලේ නහර
දඟ කරාවි
නොතැවෙන්න
නොසැලෙන්න
කිසි හඬක් නොනගා
ඉන්නට තැත් කරන්නම්
ඇස් කොනකිනිදු
නොබලන්න
හැරී ආපසු යන්න
කෙඳිරි නොනගා
ඉන්නට තැත්කරන්නම්
ඒත්
කෙඳිරිල්ලක් නැගුනොත්
ආපසු හැරී
තව එකම එක
වෙඩිල්ලක්
තබා යන්න....


Thursday, September 30, 2010

ඔහුගේ අතගෙන ඔබ ඉද්දී...














ඔහුගේ අතගෙන
උරහිසට බරවෙලා
ඔබ
හිනාවෙවී හිටියා...
ඈත බලාගෙන
මූන හංගගෙන
මං
හිනාවෙවී හිටියා...


Friday, September 24, 2010




















නෙක් දනන් නෙත් අබියස
අපරාධකරුවෙක්ව
මා සිටින සඳ,
පෝරකය මත
අලුගෝසුවාගේ
ලේ නහරයක් නොම වන්න;
ඔහු අත රැඳි
තොණ්ඩුවේ
වරපටය නුඹ වන්න...

පින්වතුන් අබියස
පවුකාරයකු වී
මා සිටින සඳ,
ගල් පහර මුදාලන
පින්වතුන්ගේ
හෘද සාක්ෂිය
නොමවන්න;
උන් අත රැඳි
හිත් පිත් නැති
ගල්කැටය නුඹවන්න...



Saturday, September 18, 2010

ලෝකය පැතලිම පැතලි රොටියක් වුනානම්....














ලෝකය
ගෝලයක් නොවී
පැතලිම පැතලි
රොටියක් වුනානම්....
මට දෙවියන්ගෙන්
ඉල්ලන්න තිබුනා
ඔක්කොම කඳු
ගස්
ගොඩනැගිලි
මිනිස්සු
හැමදේම
අයින් කරන්න කියලා..
මොහොතකට
ඇයත් මාත් හැර.
එහෙම උනානම්
ලෝකේ
මෙහා කොනේ ඉඳන්
එහා කොනේ ඉන්න
ඇයව
බලාගන්න තිබුනා
තිතක් වගේ...


Friday, September 3, 2010

මා පෙම් කල සියලුම කෙල්ලන්...













මා පෙම් කල
සියලුම කෙල්ලන්
හදවතේ
කෑල්ල කෑල්ල
කඩාගෙන ගිහින්
අන්තිම එක විතරක්
තිබුනා ඉතිරිවෙලා....
ඒකත් කඩාගෙන
ඇයත් ගියාට පස්සේ
මං....
හදවතක් නැතුව
බලන් ඉන්නවා
මොනව කරන්නද කියලා....


Tuesday, August 31, 2010

සමුගැනීමට මොහොතකට පෙර....















පුරහඳ
දුර ඈත තරුවක් සමඟ
මොනවාද කොඳුරයි...
දිගු රතැඟිලි
ගිතාරුවෙ තත් පුරා
හෙමි හෙමින් වැතිරෙයි...
හදවතින් මිදුනු ගී හඬ
සීත සුළඟට මුසුවෙලා
මල් පඳුරු කළඹයි.....
තණ බිස්ස මත
පිණි කැටවල සීතලට
දෙපතුලද,
හදවතද,
එක ලෙසින් සසැලෙයි.....


Wednesday, August 18, 2010

තව එක පාරක් එනවද...














සඳපානේ ගං ඉවුරේ
නුඹ සිටිනා තැන කියන්න
බයිසිකලේ බ්‍රේක් නැතිව
මම එනවා එක හැල්මෙම
රන් පාටට දිදුලන දිය
මතුපිට පුන් සඳ දකින්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න

ගං ඉවුරේ පඩි ගැට්ටේ
වතුරට සේදෙන ඉසව්වෙ
දෙපා දොවන පෙන කැටිවල
මුදු කිතියක සුව විඳින්න
සිසිල් සුලං රැලි විඳ විඳ
වයින් විතක රස බලන්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න


Friday, August 13, 2010

ඇය තවම ආවේ නෑ...
















මං බලන් උන්නා
ඇය එනතුරා
නොදන්න නුපුරුදු
මිනිසුන් මැදට වෙලා
සමහරු හිනාවුනා
සමහරු කතා කලා
ඒත් ඇය ආවේ නෑ..
මං ඇවිද්දා
මං ඉඳන් හිටියා
මං හිටන් හිටියා
ආයෙත් ඉඳගත්තා
අන්තිමේදි ඇය ආවා
ඒත් ඇය සිටියේ නෑ..
අප කතා කලා
එකට ආවා
වෙන් වෙලා ගියා
ඒත් ඇය ආවේම නෑ...
දවස් ගතවුනා
තනිව ලතවුනා
දහස් වර හමුව ඇති
දහස් වර කතා කර ඇති
මිනිසුන් මැදට වෙලා
මං බලන් උන්නා
ඇය තවම ආවේ නෑ...
ඡායා මාත්‍රයක්වත්
සුසුම් පොදක්වත්
තවම නෑ....


Tuesday, August 10, 2010

මැස්සෝ.....














පුංචි මැස්සෝ
පුංචිම පුංචි මැස්සෝ
උඹ කොහෙන්ද
මගේ ඇහැට රිංගුවේ..
මං එන මග
බලන් හිටියද උඹ..
මගේ මුලු ඇහැම රිදෙනවා...
කඳුළු ගලාගෙන එනවා...
පොඩි වෙලා
ඇහැ ඇතුලෙම
මැරිල ගිහින්ද?
පණ තියනවනං
උත්තර දීපන්...
ඇත්ත කියපන්...
එයා නේද උඹව එවුවේ?
මං එන මග බලන් ඉඳලා
මගේ ඇහැට රිංගන්ඩ කියලා
මැස්සෝ...
මම ඉන්නෙ දුකින්
උඹ ඒක දන්නවද?
එයා උඹට කිව්වද ඒක?
මම ඉන්නෙ හරිම දුකෙන්...
දුක ඝනීභවනය වෙලා
කැටිවෙලා...
මට අඬන්ඩ ඕනේ...
කඳුළු හලලා
ඉකි ගහලා
ඒත්
මට අඬන්ඩ බෑ
ඇඬෙන්නෙ නෑ
කඳුළු හිරවෙලා
ඇස්කුහර ඇතුලේ...
එයා ඒක දන්නවා
එයා උඹව එවන්ඩ ඇති
මගේ ඇහැට රිංගලා
හිරවුනු කඳුළු
අයින් කරන්ඩ කියලා
එහෙම නේද මැස්සෝ....
දැන් මේ ගලන් යන්නේ
ඒ හිර වෙච්ච කඳුළු....
උඹ ජීවිතේ දුන්නද
මං වෙනුවෙන්......
උඹ හරිම හොඳයි
උඹව එව්ව
එයා වගේම....
ඒත් උඹ හිතනවද
මගේ දුක අඩු උනා කියලා..
කඳුළු ගලලා
දෙගොඩ තලලා
යටවෙලා ගියත්
ඒක එහෙමමයි...
ගණ වෙලා
කැටි වෙලා
හදවතේ...
ගැඹුරේ...
එතැනට ලංවෙන්න උඹට පුලුවන්ද?
මැස්සෝ...
එතැනට ලංවුනත්,
පුලුවන්ද උඹට
ඒ දුක නැති කරන්න.
ලේ කැටි වලින්
පයින්ට් ගනනින්
එලියට දාන්න වෙයි.
පුංචිම පුංචි
උඹට පුලුවන්ද
එහෙම කරන්න
මට උඹ ගැන දුකයි
මැස්සෝ......


Friday, July 30, 2010

මගේ දේදුන්න....

















දේදුන්නෙන් එගොඩ වෙලා
සුරංගනා ලොවට යන්න
එයාලා කතා කරනවා
මට.
ඒත් මං
කොහෙ යන්නද?
ඇයයි දේදුන්න.
ඔයාලා යන්න
සුරංගනා ලෝකෙට
මං
මගේ දේදුන්න ගාව...


Friday, July 2, 2010

ඔරායන්...




















හලෝ මිත්‍රයා
ඔරායන්...
දඩයක්කාරයා...
කාලෙකට පස්සේ
ඉතින් කොහොමද
අද නිකමට
අහස දිහා බලන් ඉන්න
හිතුන මට
අහම්බෙන් දැක්කේ
උඹව
ඉතින් කොහොමද යාලුවා
මතකද ඒ කාලේ
අපි කතා කරා
මං උඹව අඳුනගත්ත අලුත
දැන් සෑහෙන කාලයක්
උඹට මතකද?
කෝ අනිත් අය?
ආ....මේ ඉන්නේ....
අං දෙකත් දික්කරගෙන
කෝ අඟේ කොන?
එදාට වඩා අඟලක්වත් දික්වෙලාද?
හද්දින්නත් තරු පොකුර....
මෙන්න !!!
තරු හතම ගනන් කරන්න
දැන් වත් පුලුවන්ද?
පුදුමයි....
උඹලා ඔක්කොම
හිටපු තැන්වල
හිටපු විදිහටම.....



Tuesday, June 29, 2010

අරුමය...















උදේ පාන්දර
එක යායට
රේල් පාර අයිනේ
පිපුනු
වතුසුද්ද මල්
මූනු හරවගෙන
බලා ඉන්නවා...
මුනු මුනු ගා
එකිනෙකාගෙන්
උන් අහනව
"මොන අරුමයක්ද මේ?
හූ තියාගෙන එන
කෝච්චිවල එල්ලිලා
කොහේ ඉඳන්
කොහේ යනවද
මේ මිනිස්සු?"



Saturday, June 5, 2010

වැතිරෙන්න මා ලඟින්.....



















වැතිරෙන්න මා ලඟින්
ගල් බොරලු ඇතිරූ
රළු පොළව මත,
සුමුදු විල්ලුද
යහන් නැත.
බලා ඉමු අපි
සඳ නැති තරු නැති
රළු අහස දෙස.
හිත හදන වදන් නැත
මා මුවඟ,
ගොලුව ඇත
මුව වැසුම් දැමු විලස.
අසා ඉමු අපි
රැහැයි ගීතය
අඳුරු වනපෙත
මතින් හැඬවෙන.
කඳුලු පිසලන්න
සුමුදු පට ලෙන්සු නැත
කඳුලු සඟවා
සිනාසෙමු අපි.
විවරවූ හදවත් දරා
බලා ඉමු අපි
එකිනෙකා දිහා
අඳුරටත් දිලිසෙන
තරුනෙත් අයා.....


Thursday, June 3, 2010

ඈ..........



















අහස පුරා
වළා අතුරා
හිරු ඒ මැද්දට කැන්දා
හිරු කිරණ
වළා කෙඳි වලින් පෙරා
නෑඹුල් වනපෙත
තුරු හිස් මත තවරා
දහසක් සොඳුරු රටා මවා
මා අසලට වී
සිනා සිසී
ඒ දෙස බලා සිටින්නී
ඈ...........



Wednesday, May 26, 2010

ලෝකේ තියන උසම ගොඩනැගිල්ලේ ඉඳලා මං බිමට පනිනවා... .














ලෝකේ තියන
උසම ගොඩනැගිල්ලේ ඉඳලා
මං බිමට පනිනවා...
ඇයි කියල අහන්නෙ?
නිකං...
නිකම්ම නිකං...
හිතන්න දෙයක් නෑ
මොකුත් නොහිතා
ඔන්න පැන්නා!!!
හුලං පාර මැද්දෙන්
බුසු බුසු ගාලා
පහලට වැටෙනවා
ගුරුත්වයට අහුවෙලා
ඒත් බර සැහැල්ලු වෙලා..
පපුවත් හිරවෙලා
සතුට හින්දද මන්දා...
මං ගලාගෙන යනවා
හුලඟ මැද්දෙන්
ගඟක් වගේ..
දෑත් දෙපා දික්කරගෙන
විඳින්න ඕනෙ මේ නිමේෂය
පොලවට වැටෙන්නට ඉස්සර
උපරිමේටම.....
ඒත්
මෙන්න පොළොව !!!!!!
දඩස් !!!!
..........................
ඇහුනද ඒ සද්දෙ?
බොල් සද්දෙ


Wednesday, May 12, 2010

අප ඇවිද ගියා....















සොඳුරු ඇගේ වත
කාලෙකට පස්සේ
දැක්කා
හීනයක....
අත් අල්ලන්
අප ඇවිද ගියා
නොදන්න නුපුරුදු
පාරවල් දිහා...
මුදු ලැම
පහස..
මගේ අත් දඬුවලට
දැනුනා...
හරිම මිහිරිව...
සඳ වතුර ගලලා
දිව්‍යාලෝකයක් වාගෙයි
පෙනුනේ
ඒ මැද
මගේ අතගෙන
ඇය...
සුරඟනක් වාගෙයි
සිටියේ..
අප ඇවිද ගියා
නොදන්න නුපුරුදු
ඉමක් සොයා
හීනයෙන් එහා.....

Wednesday, April 28, 2010

චෙරි කැකුලු වියන යට......














තාරුකා ගගන
අප දෙදෙන
අතර තනි රකින
චෙරි කැකුලු වියන

මත් වූ නුවන
ඇර නොඇර බලන
කෙස් රොදින් වැසුන
ඔබේ සුදු මුහුන

හිරිගඩු පවන
මැද සිනා සලන
අප ගැන සොයන
අයෙකු නැත මෙදින

සැලෙන හද විල
වැටෙන පිනි වල
වළලු රැලි මත
සැලෙයි ඔබෙ රුව

කාල සලකුණු
මැකී වියැකුනු
ඇසිල්ලේ සොඳුරු
ගැලී මියැදෙමු.....


Thursday, April 22, 2010

මැඩිසන් කවුන්ටියේ පාලම්....



















අයෝවාවේ
කෙත්වතු වල
දුහුවිලි මුසු සුළඟේ
අමුතු සුවඳක් දැනුනා..
රෝස්මන් පාලම දෙපැත්තේ
පුංචි පුංචි කැලෑමල්
පිපිලා තිබුනා...
නුඹ මාව ගෙන ගියේ
පාලම වෙත නොව
ඉන් එහා පැත්තේ
අලුත් ලොවකට බව
මට දැනුනා....
ආපසු එනවිට
බලු කුක්කෙක්
බුරමින්
අපි පස්සෙන්
ආවා මතකද?
ඒ ආවේ
ගිය දෙන්නා නොව
වෙනස්ම දෙන්නෙක්
කියලා
මට හිතුනා.....

Clint Eastwood විසින් නිමැවූ The Bridges of Madison County චිත්‍රපටය නැරඹීමෙන් පසුව ලියැවුනි. මෙයට තේමා වන්නේ ඇමරිකාවේ කෘෂිකාර්මික ප්‍රාන්තයක් වන අයෝවාවේ (Iowa) මැඩිසන් ප්‍රදේශයේ සිදුවන සිද්ධි මාලාවකි. මෙම ප්‍රදේශයේ ඇති ඉපැරණි, වහල සහිත පාලම් වල පින්තූර ගැනීමට එන මැදිවිය ඉක්මවමින් සිටින ඡායාරූප ශිල්පියෙකු වන Robert Kincaid රෝස්මන් පාලම වෙත යන පාර අසන්නේ මැදිවියේ සිටි, දරු දෙදෙනෙකුට ආදරණීය මවක් වූ, යහපත් සැමියෙකුට ආදරණීය බිරිඳක් වූ, Francesca ගෙනි. The Bridges of Madison County ඔවුන් දෙදෙනාගේ අමරණීය ආදරයේ කතාවයි.....


Tuesday, April 13, 2010

පීඩාකාරී සුළඟ ට...



















පීඩාකාරී සුළඟ,
තව හයියෙන් හමන්න
මම දරාගෙන ඉන්නම්...
මග එන වසන්තය
ඉක්මනින් ගෙන එන්න
චෙරි කැකුළු පුබුදන්න


Sunday, April 11, 2010

ආදරය ලැගුම් ගන්නේ කොහේද?



















ආදරය
ලැගුම් ගන්නේ කොහේද?
හිස් මුදුනේ සිට
ඇඟිලි කොන දක්වා
කකියයි..
ඔක්කොටෝම වැඩිය
පපුව හිර වෙයි...
ආදරය ලැගුම් ගන්නේ
පපු කුහර ඇතුලෙද?
එහි ලැගගෙන
අඬු පඬු
ඇඟපුරා
පතුරවා යවනවද?
මම අතගා බලමි
පපුව
හෙමින්
තදින්
ඇතුලට
ඒ වුනත් හසුනොවේ
ආදරය
කොතරම් ගැඹුරින්ද
නුඹ ඉන්නෙ
පපුව පලා
දෙපළු කර
බැලිය යුතුයි....

Saturday, April 10, 2010

පොර කුකුල්ලු
















පොර කුකුල්ලු
වී අහුලති
කති
අනිත් කුකුලන් සේම....
ඇත්තටම මුන්
පොර කුකුල්ලුද?

Tuesday, April 6, 2010

ඔය මූනේ ගොඩක්ම ලස්සන....














ඔය මූනේ
ගොඩක්ම ලස්සන
දේදුනු ඇහිබැමි වලට යටින් ඇති
ඔය ඇස් දෙක...
මම යලි යලිත් බැලුවෙ
වෙන කිසි දෙයක් දිහා නොවේ
ඔයාගේ ඇස් දිහා...
මූන බිමට හරවගෙන
නිදා ගත්ත වගෙ
ඉන්න එපා
ඇස් උස්සලා
බලන් ඉන්න
පොඩ්ඩක්
මා දිහා නොවේ
කොහේ හරි..
යන්න කලින්
තව එක පාරක්
මට ඔය ඇස් දෙක
බලා ගන්න...

Friday, April 2, 2010

ඔබ ගඟක් වගේ...














ඔබ ගඟක් වගේ...
ඔහු සයුර වගේ...
ගං ඉවුර මත
ගඟට
දුරත් නැති
ලඟත් නැති
දුරක හිඳ,
ගඟ ගලා යනු බලා
තුටුවන,
තුටු වී සුලඟට නැළවෙන,
තණ පඳුර වගේ
මම....

Thursday, April 1, 2010

පරණ ඩයරියක ලියලා තිබුනා.....















බස් එකේ ඉඳගෙන
ජනේලයෙන් එලිය බලාගෙන
සිතිවිලි වල කිමිදෙමින් ඉන්නකොට
මට
ඇසිපිය ගහන සැනින්
ඇයව මතක් වුනා....
විදුලියක් වගේ
හැමදාම
හිත ඇතුලෙ
දඟ දාපු පැණය
ආයෙත්...
"මම ඇයට ආදරේද?"
බස් එකෙන් එලියේ
පහුවෙවී යන
නොයෙක් දේවල්,
මිනිස්සු,
නොපෙනිලා ගිහින්
ඇගේ රූපය පමණක් ඉතිරිවෙලා
යලි යලිත්
ඒ පැණය
වද කලා....
"මම ඇයට ආදරේද?"
බස් එකෙන් බහිනකොටවත්
උත්තරයක්
ලැබී තිබුනේ නෑ...
බැහැලා
පාර දිගේ ඇවිදගෙන යද්දී...
පාර පුරා
ඇහැළ මල්
වැටිලා තිබුනා....
මා යන පාර දිගට
සිසිල් සුලං රැළි
එකින් එක මල් පොකුරු
බිමට හලමින් තිබුනා....

Wednesday, March 31, 2010

නිල් පාට අහසේ...













නිල්ම නිල් පාට
අහසේ
තැන තැන වැටුනු
කෙඳි වලා
ඇගේ ඇස්වල
කැලුම් වැදිලා
රතු පාටට
දිලිසෙන හැටි
දැක්කද?

Monday, March 29, 2010

හිම කඳුළු















මේ වසත් දොරටු මත
වැටෙන්නේ....
සිසිරයේ
අවසන් හිම කඳුළු...
සුදුම සුදු
හිම කඳුළු...